සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ කියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්තශාලා මගින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 56,000ක් වාර්ෂිකව නිපදවන්නේය.
උක් වගාවේ සාර්ථකත්වය හේතුවෙන් වාර්ෂික දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් ඇතැයි රජය සඳහන් කරයි.
දුඹුරු සීනි නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳපොළේ විකුණුම් අවස්ථා වැඩිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රජයේ ආයතනවලට ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කර ගැනීමේදී දුඹුරු සීනි සපයා ගැනීම අනිවාර්ය කිරීමටත්, ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිලදී ගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහාත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ආයතන බහුල ලෙස දුඹුරු සීනි ප්‍රසම්පාදනය කරන බවත්, මෙම රාජ්‍ය ආයතන හරහා දුඹුරු සීනි මිලදී ගැනීම ඉහළ දැමූ පසුව දුඹුරු සීනිවල මිල යම් ප්‍රමාණයකින් අඩු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.