මෙතෙක් කලක් විශේෂඥ වෛද්‍යවරු වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවුණු බවත් විශේෂඥ වෛද්‍යවරු වැඩවර්ජනයකට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙය වනු ඇති බවත් එම සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් ‘අරුණ’ ට ඊයේ (16 වැනිදා) පැවසීය.
ඒ අනුව ලබන 24 වැනිදා සිට දින දෙකක් පෞද්ගලික විශේෂඥ සේවාවලින් ඉවත් වන බවත්, 26 වැනිදා සිට දින දෙකක් රජයේ රෝහල්වල සේවාවලින් ඉවත් වන බවත් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් සඳහන් කළේය.
මෙම දින 4 ක වැඩවර්ජනයට රජයේ නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉන් පසු අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඒ මහතා සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ට අමතර කාලයක් සේවාවල නිරතවීමේදී පැය හයකට අදාළව දීමනාවක් ලබා දෙන බවත්, එය අහෝසි කොට මාසයකට ස්ථීර දීමනාවක් ලෙස ලබාදෙන ලෙසත් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති.
මීට අමතරව තමන්ට නිල වාහනයක් හෝ ඊට අදාළව සාධාරණ දීමනාවක් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති.
මෙම ප්‍රධාන ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දැනුම් දී ඇති අතර එම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් ලබන 24 වැනිදා සිට වර්ජනයකට යන බවට දැනුම් දී ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරු සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින විශේෂඥ වෛද්‍යවරු ද වර්ජනයට එක්කර ගැනීමට නියමිතය.

