ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වූ බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
එමෙන්ම අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට සමත්වූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් දැනුම් දී තිබේ.
මේ අතර 78 වන නිදහස් දිනය සමරනු ලබන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
නිදහස් දිනය සම්බන්ධයෙන් සුබ පැතුම් පණිවුඩයක් එක්කරමින් ඇය පවසන්නේ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟින් අපි අලුත් මඟකට යොමු වී ඇති බවය.
සාරධර්මවලින් පිරි ශ්‍රී ලංකික ජාතියක් ගොඩනැගීම සඳහා සියලුදෙනාගේම දායකත්වය ලබා දියයුතු කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍යවරිය පවසයි.
පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ථ ජාතියේ උන්නතිය වෙනුවෙන් සියලුදෙනා අත්වැල් බැඳගතයුතු යුගය ආරම්භ වී ඇති බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිදහස් දිනය සම්බන්ධයෙන් සුබපැතුම් පණිවුඩයක් එක්කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ගෙවී ගිය වසර 78ක කාලසීමාව තුළ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනාගැනීමට හැකි වී ඇති බවය.
ඒවා පිළිබඳ වටහා ගනිමින් කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව වටහා ගතයුතු බව විපක්ෂ නායකවරයා පවසයි.
78 වන නිදහස් සැමරුමේදී බුද්ධිමත්ව හා විමර්ශනශීලීව රටේ අභියෝග හඳුනාගැනීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

