බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් සමන් රත්නප්‍රිය මේ බව සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව හෙද හෙදියන්ට නිවාඩු ගෙන විදේශ රටවල හෙද වෘත්තියට යොමුවීමට තිබූ අවස්ථාව අහෝසි කළ බවත් මේ නිසා වසර පහක කාලයක් නිවාඩු ගෙන ආර්ථික අමාරුකම් විසඳා ගැනීමට තිබූ අවස්ථාවද අහිමි කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙරට ඩොලර් උපයා ගැනීම සඳහා ඉකුත් පාලනය මගින් හෙද හෙදියන්ට ලබාදී තිබූ අවස්ථාව වත්මන් පාලනය මගින් අහෝසි කළත් මේ වන විට රජයේ හෙද සේවය අතහැර දමා විදේශ ගතවීමට හෙද හෙදියන් පෙලඹී සිටින බවද රත්නප්‍රිය සඳහන් කළේය.
මේ වනවිට තිබෙන දත්තවලට අනුව රජයේ හෙද නිලධාරීන් 3000ක් පමණ නිවාඩු දමා විදේශ රැකියා සඳහා ගොස් ඇතැයිද තවත් 1500ක් පමණ රජයේ හෙද සේවය අතහැර දමා විදේශ රැකියාවලට යොමු වී ඇතැයිද ඔහු පැවැසීය.
හෙද ආචාර්යවරු 150කගේ පමණ හිඟයක් පවතින බවත් රට පුරා පිහිටි හෙද පුහුණු පාසල් 18හි ඉගැන්වීම් කටයුතු අඩාළ වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

