නාඩු වී කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120ක් ලෙස රජයෙන් නියම කර තිබුණද, තෙත නාඩු වී කිලෝවක මිල රුපියල් 85ක් දක්වාද, වියළි නාඩු වී කිලෝවක මිල රුපියල් 100ත් 105ත් අතර මිලක් දක්වාද පහත වැටී තිබේ.
සහල් අලෙවිය අඩුවී තිබෙන බවද, රටේ නාඩු අතිරික්තයක් තිබෙන බවද වී මෝල් හිමියෝ පවසති. නාඩු වී අස්වැන්න ඉහළ මට්ටමක පැවැතීම නිසා නාඩු වී මිල ගණන් පහත වැටී තිබෙන බවත් වී මෝල් හිමියෝ පවසති.
නාඩු වී මිල පහළ යාමත් සමග නාඩු සහල් කිලෝවක තොග මිල ඊයේ (11 වැනිදා) දිනයේදී රුපියල් 190ක් දක්වා පහත වැටී තිබිණි.
සහල් වෙළෙඳපොළේ සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 270ත් 290ත් අතරද, කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 330ත් රුපියල් 350ත් අතරද පැවතිණි. රතු කැකුළු සහල් කිලෝවක තොග මිල වූයේ රුපියල් 170කි.
සම්බා වී සහ කීරි සම්බා වී කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල පසුගියදා අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව, නාඩු වී කිලෝග්‍රෑම් එකක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටත්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට 130ක් දක්වා රුපියල් 5 කින් ඉහළ දැමීමටත් සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට රුපියල් 140ක් දක්වා රුපියල් 8 කින් ඉහළ නැංවීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මහ කන්නයේ අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට ආරම්භ වූවද, වී අලෙවි මණ්ඩලයේ ගබඩා බොහොමයක් තවමත් විවෘත කර නොමැති බව ගොවීයෝ චෝදනා කරති. දිවයින පුරා ගබඩා 66ක් විවෘත කර ඇති බවත්, වී අස්වනු නෙළන ප්‍රදේශවල ගබඩා මුලින්ම විවෘත කර තැබීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්දගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේය.
දිවයිනේ සෑම තැනම ගබඩා එකවර විවෘත කිරීමේ හැකියාවක් නොමැති බවද, නිලධාරීන්ගේ පවතින අඩුපාඩුව නිසා ඇතැම් ගබඩා විවෘත කිරීමට සිදුවී ඇත්තේ සතියකට එක දවසක් හෝ දෙකක් බවද ඔහු කීවේය. ඉකුත් යල කන්නයේද මණ්ඩලයේ ගබඩා විවෘත කළේ ඒ අයුරින් බවද සභාපතිවරයා පැවසීය.
මෙවර ගබඩා 146කට වැඩි ප්‍රමාණයකින් වී මිලදී ගැනීමට නියමිත බවද ඔහු කියා සිටියේය.
මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 2,000ක් පමණ වී අලෙවි මණ්ඩලය විසින් මේ වනවිට මිලදී ගෙන තිබෙන බවද සභාපතිවරයා කීවේය. මෙම තොගයෙන් වැඩි වී ප්‍රමාණයක් ඇත්තේ නාඩු වී බවද ඔහු කීවේය.
මෙවර මහ කන්නයේදී (2025/26) හෙක්ටයාර් 765,000 ක පමණ වී වගා කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. “දිට්වා“සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් වී වගා කරන ලද කුඹුරු හෙක්ටයාර් 50,000කට පමණ පූර්ණ හානි සිදුවූවද, එම කුඹුරුවලින් බහුතරයක මේ වනවිට වී වගාකර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර මහ කන්නයේද වැඩිපුර ගොවීන් වගාකර ඇත්තේ නාඩු වී බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

