ඔෟෂධ වර්ග හැටකට මිල පාලනයක් දමන විට ඇමරිකානු ඩොලරය රුපියල් 295 ට පැවැති බවත් ඊයේ (24 වැනිදා) වනවිට ඩොලරයේ අගය රුපියල් 317.5 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ ආනයනයේදී අමතර වියදමක් දැරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර පැවැසීය.
ඒ අනුව දැනට පාලන මිලක් නියම කර තිබෙන ඖෂධ වර්ග හැටෙහි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ දැමිය යුතු තත්ත්වයක් ඇතිවී ඇතැයිද අනෙකුත් ඖෂධ වර්ග ගෙන්වීමේදී නිෂ්පාදන වියදම් ඉහළ යාම, නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු හා ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ යාම නිසා ඖෂධ ආනයනික පිරිවැය වැඩිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය හා අනෙකුත් ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර පවතින තත්ත්වය හමුවේ ඒවා ගෙන්වීමට යන පිරිවැය වැඩිවී ඇතැයිද සඳහන් කළේය.
මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයද සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඖෂධ මිල වැඩි කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ඇත. දේශීයව සකසන ඖෂධ බහාලන ඇසුරුම්වල සිට සියලුම අමුද්‍රව්‍යවල මිල ගණන් සහ නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා මිල වැඩි කිරීමට සිදුව ඇතැයිද දේශීය ඖෂධ නිෂ්පාදකයෝ කියා සිටිති. දේශීයව ඖෂධ වර්ග 250 ක් පමණ නිපදවන බවද ඔවුහු කියා සිටිති. එම ඖෂධ නිෂ්පාදන සමාගම් දහතුනක් මෙරට ක්‍රියාත්මකය.

