මේ අතර අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කර තිබේ.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝගයේ සඳහන් වේ.
ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව සැකකරු මුදාහරණ ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය යළි අගෝස්තු මස 22 වනදා කැඳවන ලෙසත් නියම කර ඇත.

