එම අධිකාරිය පැවසුවේ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී නීතිමය කරුණු අනුගමන කරන්නේ දැයි පරීක්ෂණ කිරීමේ අරමුණින් මෙම වැටලීම් සිදුකර ඇති බවය.
මෙම වැටලීම්වලදී අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේ ද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන්ය.
වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිස් සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශනය කර තිබේ.
වැටලීම්වලදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර ඒකක 436ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් පරීක්ෂා කිරීම වෙනුවට, අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර ඒවායෙහි ඇති භාණ්ඩ ද පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන නිලධාරීන් එහිදී කටයුතු කර තිබේ.
අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා මෙම වැටලීමේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

