ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට පොලිස්පතිවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සංවිධාන කරන මේ පාපැදි සවාරිය අදියර තුනකින් සමන්විත වන අතර, එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 410ක්.
මත්ද්‍රව්‍යවලින් තොර නීරෝගි තරුණ පිරිසක් ඇති කිරීම, ශ්‍රී ලංකා පොලීසිය සහ රටේ තරුණ ප්‍රජාව අතර විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම ද තරුණයන් සමාජය සමග ධනාත්මකව සම්බන්ධ වීමට සහ නීතිය හා සාමය පවත්වා ගැනීමට දායක වීමට දිරිමත් කිරීම ද මේ තරගය සංවිධාන කිරීමේ අරමුණුයි.
පොලිස්පති අභියෝගතා ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන මේ තරගයේ ආරම්භක දිනය වන අද (01) කොම්පඤ්ඤවීදිය පොලිස් මූලස්ථානයේ සිට පෑලියගොඩ, නිට්ටඹුව, වරකාපොළ, කුරුණෑගල සහ මැල්සිරිපුර හරහා දඹුල්ල නගරය දක්වා පැවැත්වෙන අතර, එහි දුර කිලෝමීටර් 141ක්.
හෙට (02) දඹුල්ලෙන් ආරම්භ වන දෙවැනි අදියර කිලෝමීටර් 137.4ක දුරක් ගමන් කරන අතර, පුත්තලමෙන් අවසන් වෙනවා.
එදින මරදන්කඩවල, තිරප්පනේ, අනුරාධපුර, නොච්චියාගම සහ කලාඔය හරහා පුත්තලම දක්වා තරගය ක්‍රියාත්මකයි.
තරගයේ අවසන් අදියර අනිද්දා (3) පැවැත්වෙන අතර, පොලිස් දිනය යෙදී ඇති එදින තරගය පුත්තලමේ සිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය දක්වා පැවැත්වෙනවා.
තරගය හලාවත, මාරවිල, මීගමුව, ජා-ඇළ, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හරහා බම්බලපිටිය දක්වා පැවැත්වෙන අතර, එහි දුර කිලෝමීටර් 132ක්.
මේ තරගයේ සමස්ත ශූරයාට රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගයක් සමග පොලිස්පති අභියෝගතා ශූරතාව පිරිනැමෙනවා.
දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 2ක්, තෙවැනි ස්ථානයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් පිරිනැමෙන අතර, සිව්වැනි, පස්වැනි සහ 6 වැනි ස්ථානවලට පිළිවෙළින් රුපියල් 150,000, 125,000 සහ 100,000ක් හිමි වනවා.
7 සහ 8 ස්ථාන සඳහා රුපියල් 75,000ක් සහ 50,000ක් පිරිනැමෙන අතර, 9 සහ 10 වැනි ස්ථාන වෙනුවන් රුපියල් 25.000ක් බැගින් ප්‍රදානය කෙරේ. 11 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රු. 15,000 බැගින් ද, 16 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රු. 10,000 බැගින් ද හිමිවන අතර, තරගය නිමා කරන සියලු තරගකරුවන්ට ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබෙනවා.
මෙහි සමස්ත ශූරයාට අමතරව, ස්ප්‍රින්ට් ශූරයා, හොඳම තරුණ ධාවකයා (අවුරුදු 23ට අඩු) සඳහා ත්‍යාග පිරිනැමෙන අතර, ඒ ඒ අදියරවලදී අදියර ශූරයා, කඳු ශූරයා සහ තරුණ ධාවකයාට ද ත්‍යාග ප්‍රදානය කෙරේ.
-ITN NEWS

