ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා සංවිධාන එකතුව 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට කරන ආයාචනය

Published in පුවත්
Wednesday, 31 December 2014 11:09
ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය උපත ලැබුවේ ලාංකික ජනසමාජය භීෂණයෙන් සහ මර්දනයෙන් වෙලී ගිය 1989 වකවානුවේ දීය. එදා අප එලෙස එකට එක්වූයේ විධායකයේ දරුණු භීෂණයට එරෙහිව මානව හිමිකම් රැකගැනීමටය. අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමටය. එමෙන්ම, කුරිරු යුද්ධයෙන් විනාශයට පත්වන අපගේ ජනතාවගේ දුක් අඳෝනාවන් සංසිඳුවා ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය යන ස්ථාවරය නොබියව ප‍්‍රකාශ කරමිනි.  දශක තුනකට ආසන්න කාලයක් තුළ අප අඛණ්ඩව ම එම ස්ථාවරයේ පිහිටා කටයුතු කර ඇත. 
සංවිධානයේ දේශපාලන දැක්මෙන් බිඳක්
 
අප ස්වාධීීන කොමිසම් සභා පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙනි. අත්තනෝමතික ලෙස ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධනයට අප එරෙහි වුයේ අසීමිත දේශපාලන ආධිපත්‍යයට එරෙහි වීම අප වෙත ඓතිහාසිකව පැවරුණු කාර්යභාරයක් වූ නිසාවෙනි. එම තිරශ්චීන දේශපාලන බලාධිකාරය හරහා දියත් වන මර්දනයේදී ඉතාමත් ම අසරණ වූයේත්, අසරණ වන්නේත් මව්වරුන් සහ දියණියන් ය. එම කුරිරු ඉතිහාසය තවමත් අවසන් ව නැත. 
 
1989 අප  දුටු භීෂණය, 2005 යුද්ධය ඇරඹීමත් සමග නැවතත් හිස එසවූ ආකාරය අපි අත්දුටුවෙමු. සුදු  වෑන් භීෂණයෙන් අපේ සමාජය වෙලී  පවතී. පශ්චාත් යුද භීෂණයෙන් හා මිලිටරීකරණයෙන් අපේ අයිතිවාසිකම් පාගා දමන ලදී.  අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස,  මාධ්‍ය නිදහස, දේශපාලන නිදහස සහ සැකෙන් බියෙන් තොරව ජීවත් වීමේ අයිතිය වැළළී ගිය ආකාරයත් අපි  හොඳින් ම අත්දැක ඇත්තෙමු. අතුරුදහන් වු පවුලේ සාමාජිකයන් සොයමින් වැලපුනු මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ දුක් අඳෝනාවන් තවමත් අවසන්ව නැත.
 
මැතිවරණ නිරීක්‍ෂණයට එක්වීමේ අරමුණ
 
‘‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’’ නම් කාන්තා ජාලය මැතිවරණය නිරීක්‍ෂණය සඳහා එක් වූයේ ප‍්‍රථම වතාවට 2013 වසරේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණය පකාශයට පත්කිරීමත් සමගය. විශාල ජීවිත හා දේපොළ විනාශයක් සමඟ යුද්ධය නිමාවී වසර හතරකට පසුව මෙන්ම, වසර 25කට පසුව ප‍්‍රථම වතාවට තමන්ගේ ඡන්දයෙන්, තමන්ගේ දේශපාලන නායකයන් පත් කර ගැනීමට උතුරේ ජනතාවට ලැබුණු අවස්ථාව එය විය.
 
 විශේෂයෙන් වසර 25ක් පමණ එල්ටීටීඊ පාලනයට යටත්ව සිටි මුලතිව්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කවල ජනතාවට තමන්ගේ කැමැත්තට තම නියෝජිතයන් තෝරා ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම විඳින්නට ලැබුණු ප‍්‍රථම අවස්ථාව ද මෙය විය. එහෙයින්, එම ජනතා කැමැත්ත නිදහස්ව සහ සාධාරණව ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය සකස් වන්නේ කෙසේදැයි විමසා බැලීම හා එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ලබා ගැනීම සඳහා ඔවුනට සහාය වීම ‘‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’’ කාන්තා ජාලයේ ඉතිහාසය විසින්ම පවරා දුන් අනිවාර්ය අවශ්‍යතාවක්ව පැවතිණ. 
 
එමෙන්ම මැතිවරණයට බලපෑම් සිදුවන කි‍්‍රයා වළක්වා ගැනීමේ අවශ්‍යතාව මැතිවරණ ඉතිහාසය විසින් ම උරුම කර දී තිබුණ කි‍්‍රයාවක් විය. අනෙක් ප‍්‍රධාන හේතුව වූයේ  දේශපාලනය තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම හා මැතිවරණවලදී කාන්තා ඡන්දයට අර්ථයක් ලබා දීමේ අවශ්‍යතාව වෙනුවෙන් ලක්බිමේ මව්වරු සහ දියණියෝ අඛණ්ඩ ව්‍යායාමයක යෙදී සිටීමයි. කාන්තාවන් දැනුවත් කරමින් හා ප‍්‍රතිපත්තිමය තලයේ බලපෑම් කරමින් ගෙන ගිය එම ව්‍යායාමය මැතිවරණ කි‍්‍රයාදාමයකට සකී‍්‍රයව බද්ධ කරන්නට ලක්බිමේ මව්වරු සහ දියණියෝ කල්පනා කළේ උතුරේ මැතිවරණයත් සමඟය. 
 
ඒ සඳහා ප‍්‍රධාන හේතු කාරකය වූයේ ද උතුරේ කාන්තාවන්ගේ ජීවිත නගා සිටුවීම හා චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහා සහෝදරත්වයේ දෑත් දිගු කරමින් පසුගිය කාලය පුරා කළ කටයුතුවල දී, ජනතාවගේ පශ්චාත් යුද සමයේ ජන ජීවිතය තවමත් සාමාන්‍යකරණය නොවූ තත්ත්වයක පවතින බව තේරුම් ගෙන සිටීමයි. උතුර කේන්ද්‍ර කර ගෙන මැතිවරණය කි‍්‍රයාදාමයට දායක වන්නට ලක්බිමේ මව්වරු සහ දියණියෝ තීරණය කළේ එහෙයිනි. 
 
 
ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වශයෙන් මේ වන විිට මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන ඇත. උතුරෙන් පටන් ගත් මැතිවරණ නිරීක්‍ෂණ කි‍්‍රයාදාමය ඊට පසු උදා වූ බස්නාහිර, දකුණ, මධ්‍යම සහ ඌව පලාත් සභා මැතිවරණ නීරීක්ෂණ දක්වා අඛණඩව දියත් විය.
 
ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා ජාලයේ අරමුණ වන්නේ මැතිවරණ දින, මැතිවරණ නීති උල්ලංඝණයන් හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්‍ෂණය පමණක් නොවේ. මැතිවරණ නීති උල්ලංඝණයන් හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධ සංඛ්‍යාත්මක වාර්තාවක් එළිදැක්වීම පමණක්  නොවේ. අපගේ  දැක්ම වන්නේ  නිදහස්ව හා සාධාරණව ඡන්දය පාවිච්චි කිරීමට ජනතාව පෙළඹවීම හා ඒ සඳහා ඇති බාධක නිරීක්‍ෂණය කරමින්, ඒවා ඉවත් කරවා ගැනීමට අදාල බලධාරියා වන මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීම සහ මැදිහත් වීමයි. 
 
කාන්තා ඡන්දයට අර්ථයක් දීම සඳහා තමන් කැමැති ආකාරයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා කාන්තාවන් දැනුවත් කිරීම, කාන්තා අපේක්‍ෂිකාවන් බලගැන්වීම හා මැතිවරණ කි‍්‍රයාවලිය නිරීක්‍ෂණය සඳහා කාන්තා දායකත්වය ලබා දීමට කාන්තා කණ්ඩායම් බිහි කිරීම අපගේ විශේෂිත අරමුණකි. මෙම කි‍්‍රයාවලිය අරඹන විට, තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් නුහුරු මුලතිව් කිලිනොච්චි දිස්ති‍්‍රක්කවල සමහරු සිතා සිටියේ තමන්ගේ නියෝජිතයා ග‍්‍රාම සේවා නිලධාරීවරයා/වරිය කියාය. 
 
ඡන්දය දැමීමට යනවාද නැත්ද යන්න ග‍්‍රාම නිලධාරිවරයාගෙන් විමසා කිව හැකි බව සමහරු ප‍්‍රකාශ කළහ. එවැනි වාතාවරණයක් යටතේ මැතිවරණයට සති දෙක තුනකට පෙර සිට අඛණ්ඩව උතුරේ කාන්තා මැතිවරණ නිරීක්‍ෂිකාවන් පුහුණු කරමින් හා මැතිවරණය ගැන බියෙන් සැකෙන් යුතු කාන්තාවන් දැනුවත් කළ ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය විසින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා වන හා කාන්තා ඡුන්දයට බලපෑම් කළ හැකි කරුණු ගණනාවක් හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ද දැනුවත් කළේය. 
 
පසුගිය කාල පරිච්ඡේදය පුරා ම අපගේ අත්දැකීම වී ඇත්තේ පාලක පක්ෂය විසින් අසීමිත ලෙස රාජ්‍ය දේපළ හා සම්පත් යොදා ගනිමින් ද, පොලිස් බලතල සියතට ගනිමින් ද මැතිවරණ කටයුතුවලට මැදිහත් වු ආකාරයයි. එවැනි තත්ත්වයක් යටතේ අප නිරන්තරයෙන් ම පෙන්වා දුන්නේ, ස්වාධීන මැතිවරණ කොමිසමක් සහ අධිකරණයක් නොමැතිව පවත්වන මැතිවරණ නිදහස් සහ සාධාරණ වශයෙන් නිර්ණය කළ නොහැකි බවයි. මැතිවරණ දිනය සාමකාමී ලෙස ප‍්‍රකාශයට පත් වුව ද, මැතිවරණය සාධාරණ හා නිදහස් එකක් ලෙස සැලකිය නොහැක්කේ පූර්ව මැතිවරණ සමය තුළ ආණ්ඩු පක්‍ෂය විසින් සියලූ බලය හා සම්පත් අයුතු ලෙස පරිහරණය කරමින්, බලයේ ප‍්‍රචණ්ඩත්වය මුදා හරිමින් මැතිවරණ මෙහෙයවන බැවිනි. 
 
එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ලබා දෙන උපදෙස් පිළිපැදීම ආණ්ඩු බලය සහිත දේශපාලනඥයින් විසින් අමු අමුවේ ම ප‍්‍රතික්ෂේප කරන්නේ විධායක බලතලවලින් ආරක්ෂා වෙමිනි.
 
ඡන්දය සහ ජනතා බලය
 
ජනතාව සහ දේශපාලනය අතර සම්බන්ධය ගොඩනැගෙන්නේ මැතිවරණ හරහාය. එසේම මැතිවරණය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ස්වභාවය තීරණය කරන ලිට්මස් පරීක්ෂණයකි. මැතිවරණය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන උරගා බැලීමයි.  මැතිවරණයකදී ප‍්‍රජාව සිය ඡන්දය භාවිත කරමින් තමන්ගේ පාලන බලය තීන්දු කරයි. එයින් සිදු වන්නේ, ජනතාව ස්වකීය පරමාධිපත්‍ය බලය තමන් විසින් ඡන්දයෙන් තෝරා පත්කරගත් නියෝජිතයන්ට යම් කාලසීමාවක් සඳහා ලබා දීමයි. එසේ කොට ජනතාව බලාපොරොත්තු වන්නේ රටේත් ජනතාවගේත් සංවර්ධනය, මූලික අයිතිවාසිකම් සහ සමාජ පැවැත්ම යහපත් කර ගැනීමටයි. ඒ ආකාරයට ජනතාව ප‍්‍රකාශ කරන දේශපාලන දැක්ම හා දැනුම අපගේ එදිනෙදා ජීවිතවල සියල්ල බවට පත් වෙයි.
 
ගේ දොර ආර්ථිකය තීන්දු වන්නේ දේශපාලනයෙනි. අප අඳින පළඳින ඇදුම් වස්ත‍්‍රාභරණ,  අප උයන පිහන දේ ආදී සියල්ල සම්බන්ධයෙන් තීන්දුව තිබෙන්නේ දේශපාලනඥයන් අත ය. මේ වන විට එලවලූ, මස්, මාළු, බිත්තරයේ සිට මිල තීන්දු කරන්නේ පාලකයා විසින් ඉදිරිපත් කරන අයවැය ප‍්‍රතිපත්ති අනුවය. රෝහල්වල බෙහෙත් තිබෙන්නේද නැත්ද යන්න තීන්දු කරන්නේ ද ජනතාව තමන්ගේ යහපත අපේක්‍ෂා කරමින් පත් කර ගන්නා ආණ්ඩු විසින් ඇති කරන ප‍්‍රතිපත්ති අනුවය. පොලීසිය සිය රාජකාරිය නිදහසේ කළ යුතු ද නැත්ද යන වග තීන්දු වන්නේ ද දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම් අනුවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක යහ පැවැත්ම සඳහා දැනුවත් ඡන්ද දායකයන් තීරණාත්මක සාධකයක් වන්නේ ඒ නිසාය. ඡුන්දයේ වටිනාකම අප තේරුම් ගත යුත්තේ ඒ නිසාය. 
 
අපගේ අභියෝගය
 
මැතිවරණ නිරීක්‍ෂණ ඉතිහාස අත්දැකීම් අනුව දිස්ති‍්‍රක්ක පුරා විහිදී ඇති අපගේ කාන්තා සංවිධාන කි‍්‍රයාකාරිනියන් අපගේ සහෝදර දේශීය මැතිවරණ නීරීක්ෂණ සංවිධාන සමඟ එක්ව නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා 1994 පමණ සිට දායක වී ඇත. එසේ ලබාගත් පන්නරයත් සමඟ උතුරේ මැතිවරණයේ සිට කාන්තා කණ්ඩායමක් වශයෙන් අප මැතිවරණ නිරීක්‍ෂණයට එක්වී මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත් නිරීක්‍ෂණ කණ්ඩායමක් බවට පත් වී සිටී. මෙම සියලූ අත්දැකීම් සමඟ මෙවර ජනාධිපතිවරණය ද නිරීක්‍ෂණයට අපගේ කණ්ඩායම් කාන්තා කි‍්‍රයාකාරිනියන් පෙරමුණ ගෙන සිටී. ඡන්දය අපතේ නොයවා,  අර්ථවත්ව භාවිත කිරීමේ අවශ්‍යතාව ගැන ප‍්‍රජාව දැනුවත් කරමින් අපගේ නායිකාවන් මැතිවරණ නිරීක්‍ෂණ කටයුතුවල යෙදේ.
 
විශේෂයෙන් ම රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි කාන්තා ඡන්දදායිකාවන් දැනුවත් කිරීම අප ඉදිරියේ ප‍්‍රධාන දේශපාලන අභියෝගයක් වශයෙන් පවතී. මේ වන විට අපගේ ඡන්දය දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි මංකොල්ලකෑමට ඉඩ දී බලා සිටින ස්වභාවයක් දකින්නට ඇත. මැතිවරණ සමයේ ඡන්ද මංකොල්ල කෑම සඳහා අල්ලස් ලෙස බෙදාදෙනු ලබන විවිධ භාණ්ඩ, දීමනා හා ආධාර ලබා ගැනීමට උද්යෝගයෙන් අපගේ කාන්තාවන් ද එක්රොක් වන බව සත්‍යයකි. 
 
එහෙත් එසේ වරදාන ලබා දෙමින් දේශපාලනඥයන් සිදු කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනයක් බව ප‍්‍රශ්න කරන්නට නොහැකි තත්ත්වයකට අප පත්ව ඇත. පසුගිය කාලපරිච්ඡේදය පුරා ම මැතිවරණයෙන් මැතිවරණයට කාන්තාවන් පෙළගැසෙන්නේ ද එසේ වරදාන ලබා දෙන්නා වු දේශපාලනයක් නඩත්තු කිරීම සඳහාය. අපගේ කාන්තාවන් කල්පනා කරන්නේ ද පෞද්ගලික උවමනා එපාකම් විවිධ දේශපාලනඥයන් පිටුපස ගොස් ලබා ගැනීමට සහ එසේ ලබා ගැනීමට හැකි වීම වරප‍්‍රසාදයක් ලෙසය. මේ තත්ත්වය තුළ අපගේ ඡුන්දයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනකම තේරුම් නොගන්නා තත්ත්වයට අප පත්ව ඇත. 
 
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කිරීම වෙනුවෙන් පෙනී සිටීමට කාන්තා ව්‍යාපාරය අත විශාල වගකීමක් තිබුණ ද ඒ වෙනුවෙන් අප ප‍්‍රබල ලෙස බලමුලූ ගැන්වුණේ නැති බව ප‍්‍රකාශ කළ යුතුව ඇත. කාන්තා දේශපාලන අයිතීන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන හැකි මට්ටමෙන් අප කටයුතු කළ ද එය ප‍්‍රමාණවත් තරම් ශක්තිමත් වූයේ නැත. 
 
අභියෝගය එසේ වුවත්, අප විසින් උතුරේ මැතිවරණයේ සිට ආරම්භ කළ මැතිවරණ කි‍්‍රයාදාමය තව දුරටත් ඉදිරියට ගෙන යමින්, උපරිම ශක්තිය යොදා මෙවර නිදහස් සහ සාධාරණ මැතිවරණයකට බාධා සිදුවන දූෂණ, අක‍්‍රමිකතා නිරීක්‍ෂණය ආරම්භ කර  ඇත්තේ, මෙම ජනාධිපතිවරණය සමස්ත ශ‍්‍රී ලාංකික දේශපාලන සංස්කෘතිය කෙරෙහි එල්ල කරන තීරණාත්මක අභියෝගය තේරුම් ගනිමිනි. ඡන්දයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයක් දිම සඳහා ඇති සිවිල් සමාජයේ කාන්තාවන්ගේ භූමිකාව ඉතා පැහැදිලිව අප වටහා ගෙන ඇත.
 
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කර ගැනීම සදහා දියත් කරනු ලබන නිරීක්ෂණ ක‍්‍රියාදාමයේ දී ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා ජාලයේ සියලූ සංවිධානවල පූර්ණ සහයෝගය ඉතා වැදගත්ය. විශේෂයෙන් ප‍්‍රජාමූල කාන්තා සංවිධානවලට මෙහි දී විශාල වගකීමක් හිමිවේ. රටක අනාගතය තීන්දු කෙරෙන ඡන්දය දේශපාලනඥයන්ගේ දූෂණ, වංචා හා බල ලෝභිත්වය පවත්වාගෙන යාම සදහා භාවිත නොකොට, යහපාලනයක් අපේක්‍ෂාවෙන් කැමැති කෙනෙකුට භාවිත කිරීිමට ඇති අපගේ  අයිතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දී ද ඔවුනට ඇත්තේ විශාල කාර්යභාරයකි. 
 
තමන් අපේක්‍ෂා කරන යහ පාලනයක් වෙනුවෙන් නිදහසේ ඡන්දය දීමට ඇති අයිතියට බාධා කරමින් සාමාන්‍ය ජනතාව බිය වද්දන්නේ නම් හෝ විශේෂයෙන් සමෘද්ධි දීමනා සහ විවිධ සමාජ සේවාවන් කපා හැරීම සම්බන්ධයෙන් අනතුරු අඟවන්නේනම් එය අපගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක් බව අප තේරුම් ගත යුතුව ඇත.  සමෘද්ධි සහනාධාරය හෝ වෙනත් දීමනා ජනතාවට ලැබෙන්නේ ඒ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකමක් වශයෙන් මිස ඔවුන් දරණ දේශපාලන මතය මත නොවන බව ජනතාවට පසක් කළ යුතුය. 
 
එවැනි බිය ගැන්වීම් තදබල නීති විරෝධී කි‍්‍රයාවන් වේ. ඒවාට එරෙහිව හඬ නගමින් රටේ ආර්ථිකයේ ජීවනාලිය වන කාන්තාවන්ගේ මුදල්වලින් නඩත්තු වන දූෂිත දේශපාලකයන්ට එරෙහි වීමට කාන්තා ඡන්ද දායිකාවන් පෙරමුණ ගත යුතුය. එවැනි දේශපාලනඥයන්ට ඔබගේ ඡන්දය මංකොල්ල කෑමට ඉඩ නොදෙන්න 
 
කාන්තාවනි,
 
xඔබගේ ඡන්දය තුවක්කු, මැර බලයට සහ වරදානවලට යට නොකරන්න.
xබිය ගැන්වීම්, අනතුරු ඇඟවීම්වලට නොරැුවටෙන්න.
xනිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙළ ගැසෙන්න.
xප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සදහා පෙළ ගැසෙන්න.
xප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීම වෙනුවෙන් ඔබගේ ඡුන්දය පාවිච්චි කරන්න 
 
ලක්බිමේ මව්වරු සහ දියණියෝ 
2014. 12. 29

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us