මෛත්‍රීට ගෝඨාගේ පිහිටයි Featured

Published in පුවත්
Saturday, 04 July 2015 12:11

ජනවාරි 8 වැනිදා කෙරුණු විප්ලවයක් පාවා නොදෙන්නැයි ජනාධිපතිවරයාට බල කෙරෙන සටන් පාඨ පසුගිය දින කිහිපයෙහි දක්නට ලැබුණි. සැබැවින්ම ජනවාරි 8 විප්ලවීය වෙනසක් ලංකාවෙහි සිදුවුණිද ? කොහෙත්ම නැති වගට හොඳම උදාහරණය සැපයුණේ ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාමයෝජනා ලබා දෙන්නට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වීමෙනි. ජනවාරි 8 මුහුණට මුහුණ සටන තිබුණේ මේ දෙදෙනාගේ නායකත්වයෙනි. කැමැත්ත අකැමැත්ත බලකිරීම් හෝ පොලිටිකල් ගේම් පසෙක තිබියදී දැන් දෙදෙනාම එකම පක්ෂයේ ය.

ජයග්‍රහණයෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන වරක් කීවේ පරාජය වී නම් තමාට අත්වීමට තිබූ ඉරණම තමා දන්නා බවයි. එවකට තිබුණු තත්වය මත මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කලේ නම් ඔහුගේ වියරු ගෝත්‍රික අනුගාමිකයින් අතින් බොහෝ ලේ වැගිරීම් වන්නට ඉඩ තිබිණි. මෛත්‍රීපාල ඉන් අවස්ථාවක් ලබා ගැලවී ගත්තද සරත් ෆොන්සේකා පූර්වාදර්ශය අනුව දීර්ඝ සිර දඬුවක් ලැබීම නම් අනිවාර්යයක් ලෙස සටහන් ව තිබිණි. එමෙන්ම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ඔහුට වෙඩි නොවදිනා ඇඳුම් ඇඳ සිටින්නට සිදුවූයේ කා කෙරෙහි වූ බියකින්ද ? පරාජය විනම් අනතුර පැමිණීමට නියමිතව තිබුණේ කාගෙන්ද යන්න ඔහුට අමතක ව ඇති සැටියකි. ඒ අනතුරු කාරකයා මෑතක පන්සල් ගාණේ ගියේ සිල් සමාදන් වන්නට නොවේ, තමුන්ට ගිලිහුණු බලය සොයා ගන්නටය. ඉතින් මෛත්‍රී ඔහුගේම තක්සේරුවකට අනුව හෝ විධායක ජනාධිපති තනතුර තුළ සුරක්ෂිතය. එනමුදු ඔහුගේ ජයග්‍රහණය පතා ස්වේච්ඡාවෙන් වෙහෙසුණු දස දහස් ගණනකට දැන් එදා ඔහු මුහුණ දුන් අනතුරුදායක ඉරණම විවරය. ඒ මෛත්‍රීගේ ම දෑතිනි.

ජනවාරි 8 වැනිදා සිදුවුණේ ජාතිවාදී බල ඇණියක් නඩත්තු කරමින් ෆැසිස්ට්වාදයක් කරා ගමන් කරන්නට සූදානම්ව සිටි ඒකාධිපති පාලකයකු ඉතාමත් අසීරු තත්වයක් යටතේ මැතිවරණයකින් බලයෙන් පහකිරීමක් පමණකි. පෙරකී ජාතිවාදී ෆැසිසිට් ව්‍යාවාපාරය පරාජය කිරීමක් සිදුවූයේ නැත. කොහෙත් ම නැත. එමෙන්ම ජයග්‍රහණයෙන් අනතුරුව හෝ එම ෆැසිස්ට් ව්‍යාපාරයට එරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකෙරුණේද නැත. ඒ පසෙකින් තිබියදී මැතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරියෙන්ම පිහිටි සටන් පාඨ වූ එකී යුගයේ දූෂණයට සහ භීෂණයට එරෙහිව ද ප්‍රමාණවත් තරම් පියවරක් ගැණුනේ නැත. වෙනකක් තබා අවසානයේ එදා හොරුන් වූ පාර්ශ්වය විසින්ම "කෝ හොරු ඇල්ලුවාද ?" යි අසද්දී පවා ජයග්‍රාහී පාර්ශ්වය කවර නම් හෝ හේතූන් මත සිටියේ නිහඬවය.

ඉතා විහිළු සහගත ලෙස විමල් වීරවංශගේ බිරිය අත්අඩංගුවට ගැනීම වැනි මහින්ද පාර්ශ්වයට වාසි සහගත නාටක නැටුවා විනා බැසිල් හැරුණු විට රාජපක්ෂ පවුලේ කිසිවකුට එරෙහි තීරණාත්මක යමක් කෙරුණේ නැත, බැසිල් පවා ටික කලෙකින් ඇප මත නිදහස් වූ අතර දැනට පවතින තත්වය සලකා බලන කල බොහෝ දුරට ඔහුද නිවැරදිකරුවෙකු ලෙස නිදහස් වීමට ඉඩ ඇත. වෙනෙකක් තබා වෙලේසුදා නම් කුඩු ව්‍යාපාරිකයා මුලින් ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දුමින්ද සිල්වාගේ සම්බන්ධයක් එළිකල බව කියැවුණු අතර තත්වය තරමක් සන්සුන් වූ පසුව කියවුණේ ඒ ඔහු පරීක්ෂණ නොමඟ යැවීමට කියූ කතාවක් බවය.

එසේම රාජපක්ෂ පාලනයට එරෙහි පළමු විරෝධයක් එල්ල වූයේ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියෙනි. ජයග්‍රාහී යුද්ධ සංදර්ශන තිබියදීම "ඝාටකයා සාටකයා" ලෙස සඳහන් පුවරු රැගෙන ජනතාව වීදි බැස්සේ එදාය. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමද මහත් සේ කියවිණි. නමුත් ගතවූ දින 160කට අධික කාලය තුල ඔවුන් වෙනුවෙන් කිසිදු දෙයක් කෙරුණේ නැත. ඉතින් අවසානයේ මෛත්‍රී පාර්ශ්වය විසින් දැන් ඔප්පු කරන්නේ හෝ කෙරෙන්නේ ඔවුන් ම මැතිවරණය කාලයේ කියූ තරම් රාජපක්ෂ යකා කලු නැති බවය.

මෛත්‍රීපාල සිරිසේන යනු පසුගිය රජයේ අවම වශයෙන් කැපී පෙනුණු චරිතයක් හෝ නොවේ. ජාතික තලයේ ප්‍රශ්න වලදී මැදිහත් වූ අයෙක්ද නොවේ. ඔහුට හිමි ඡන්ද පදනමක් වී නම් ඒ පොළොන්නරු දිස්ත්‍රික්කයේ නිදහස් පාක්ෂිකයින් අතර පමණය. ඊට අමතරව අනුරාධපුර හෝ අම්පාර දිස්ත්‍රික්කවල වී ගණුදෙනු මත ගොඩනැඟුණු ඡන්ද තිබෙන්නට ඇත. ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වුණේ දුර්දාන්ත රාජපක්ෂ පාලනය අවසන් කිරීමට ඉදිරිපත් වූ කොටසයි. මෛත්‍රී ජනාධිපති තනතුර දක්වා ගියේ ඔහුගේ දේශපාලනික සුදුසු කමකින් නොව හුදෙක් රාජපක්ෂ විරෝධය නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරඟ කරන්නට ලැබෙනු ඇතැයි අවම බලාපොරොත්තුවක් හෝ වීනම් ඔහු විපක්ෂයට එක්වන්නේද නැත.එදා ඔහු දැක්වූ ධෛර්යය අද නොපෙන්වන්නට ඔහු එක්කෝ හේතු කිව යුතුය. නැතිනම් විධායක බලතල තිබියදීම තමුන්ගේ පුද්ගලික "පොන්නකම" (මෙය එකී ලිංගික අනන්‍යතාවයේ ඉන්නා ජනතාවට කළ අපහාසයක් නොවේ) පිළිගත යුතුය.

මහින්දට දුන්නේ අපේක්ෂකත්වය පමණය, අගමැති කතාවක් නොදුන්නේය කියනා ප්‍රලාපයට දිය හැක්කේ එකම පිළිතුරකි. මෛත්‍රී, ඔබ නිදහස් පක්ෂයේ ලේකම්වරයාව අදටත් සිටියා නම් මහින්ද සමඟ අගමැති කමට ඔබට තරඟයක් දෙනු හැකිද ? එක්කෝ සන්ධානය සදා නොදිනනා බව මෛත්‍රී දැන සිටිය යුතුය, නැත්නම් මෛත්‍රී මේ සෙල්ලම් කරනුයේ තමාගේම ඉරණමත් සමඟය.

එජනිස ය ජයග්‍රහණය කළහොත් මහින්ද අගමැති වීම වැළැක්වීමට මෛත්‍රී සතු තුරුම්පු ප්‍රමාණවත් නොවේ. එසේ ප්‍රමාණවත් තුරුම්පු තිබුණි නම් ඔහු ඒවා මහින්දගේ අපේක්ෂක්වයට එරෙහිවම යොදනු ඇත. මේ පැහැදිලිව ම මෛත්‍රී නම් දේශපාලනික ජීවියා තම අපරණිතක කම පෙන්වමින් ගත් වහල් තීන්දුවකි. ඉන් ඔහුගේ හා ඔහුගේ පවුලේ ජීවිත සමහර විටෙක බේරිය හැක. එයද සැක සහිතය. එජනිස දිනුවහොත් මහින්දට අභියෝග කරන්නේ ඊයේ මාධ්‍ය සාකච්ඡා තැබූ රාජිතද නැත, ඒ ජාම බේරා ගැනීමේ කතා පමණි.

ජනවාරි 8 අප විසින් පැරදූ අපේක්ෂකයා, දැන් අප විසින් දිනවූ අපේක්ෂකයාගේ ආශිර්වාදයෙන් අප ඉදිරියට පැමීණ තිබේ. කෙරුණු විප්ලවයක් හෝ එසේ නමට හෝ හැඳින්විය හැකි යමක් නැත. නමුත් කරන්නට දෙයක් ඇත.

රාජපක්ෂ පරාජයෙන් පසුව පවා කරන ලද්දේ කුමක්ද ? සිංහල මහජාතිවාදය පන්සල් ගාණේ ගොස් ටියුන් කරනවා හැර වෙන යමක් ඔහු කර තිබේද ? මේ වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමුවෙන්ම ගෙන එන්නට යන්නේ ජාතිවාදයයි. නොහොත් සිංහල මහජාතිකවාදයයි. මෛත්‍රීපාල සිරිසේන ඊට එරෙහිව කරන යමක් නැතුවා මෙන්ම ඔහුට ඊට එරෙහිව කළ හැකි යමක් ද නැතුවා ය. මිනිසුන් යනු පාඩම් ඉගෙන ගන්නා ජාතියක් බැවින් මෙවර මොනම හේතුවක් මත හෝ මෛත්‍රීපාලගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡ්න්දය ප්‍රකාශ නොකරන මෙන් ඉල්ලමි.

සන්ධානයට ලැබෙන්නට තිබූ ඡන්ද ටිකද අපාගත මහින්දයා හා එක්ව මෛත්‍රී විසින් නැති කරන ලදී.දැන් මෛත්‍රීට ගෝඨාභය ගේම පිහිටය. එයා මේ ඉල්ලන්නේ ඒකය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us