අනුරයියාගේ ‍රැල්ල...

Published in Gossip
Tuesday, 12 October 2021 13:36

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි..තව සමහරක් සුනාමි වැනිය ..ඒවා කොහොම උනත් මේ රැළි හැමදාම එනවා යනවා. ලස්සනයි, ආසයි, ප්‍රිය ජනකයි, පියකරුයි, භයංකරයි ගුප්තයි.... වගේ රස නවයක් නොවේ දහ අටක් විතර මේ මුහුදු ‍රැළි වල තිබේ. ..

මේ දිනවල ජෙප්පො කුල්මත් වී සිටිති. ඒ අයිදැයි හේතුවක් මේ ලියුම්කරුට හොයා ගන්න නොහැකි වුණත්. අනුර ‍රැල්ලක් කියා එකක් හැදී ඇති බව මේ ජෙප්පන් කියමින් සිටී.

2024 දී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට අනුරයියාව බලහත්කාරයෙන් හෝ ජනතාව ඉදිරිපත් වී පත් කරන බවත් ඇතැමෙකුගේ මතය වී තිබේ..ඒ තරම්ම ‍රැල්ලක් දැන් ඇති වී තිබේලු.. ඒවා තහවුරු කරන්න අනුරයියා ආණ්ඩුවේ රෙදි ගලවමින් රඹටි හැලෙන්න දුන් යූ ටියුබ් වීඩියෝවක් ලක්ෂයක් දෙනා බැලීම ගැන බොහෝ තැන් වල පෙන්වා දී තිබිණි.. (ඉරාජ්ගේ ජවිපාවුන් වීඩියෝව අනුරයියාගේ පේජ් එකේම ලක්ෂ ගනන් බැලුවාමත් එහෙම කතා අසන්නට ලැබිණි..) සමහර විට මේ ජෙප්පො කල්පනා කරනවා ඇත්තේ මේ විඩියෝව ලක්ෂයක් දෙනා බැලුවාම අනුරයියා ඡන්ද ලක්ෂ සීයක් විතර අරගෙන මේ රටේ ජනාධිපති වීම ශුවර් බවය.

ඒක අපි දන්නේ නැත. මේ වාමාංශිකයෝ කියන්නෙ දේශපාලන තර්කයෙහි ශූරයෝ වගේම දේශපාලනයේ වෙන්නේ මොනාද නොවෙන්නෙ මොනාද කිය හරියටම දන්නා පිරිසක්ලුනේ. ඒ නිසා ඒවා ඇත්තද විය හැකියි.

තැනක මෙහෙමද තිබිණි. 'සජිත්ට වඩා වේගයෙන් රට පුරා අනුර සහෝදරය ප්‍රමුක ජවිපෙ වටා රැල්ලක් ගොඩනැගෙමින් තිබේ. ජයග්‍රහණය තෙක් මේක ඉදිරියට ගෙන යමු. හැමෝම එක් වෙමු ..' දැන් සජිත්ටත් වෙන්නෙ මාර වැඩේ. පහුගිය ජනදිපතිවරණයෙන් ලක්ෂ 49 ක විතර ඡන්ද ගත්ත සජිත්ට ලක්ෂ 5ක විතර (සීයයට 3ක) ඡන්ද වරමක් හිමි මිනිහෙකුගෙන් එල්ල වන අභියෝගය සුළු ප‍ටු නැත. චම්පික ජනාධිපති වෙන්න බලන් හිටියාට දැන් ඒක වෙන්නෙ නැත. චම්පිකට වෙන්නෙ අනුරයියාගේ වල්ගෙ එල්ලෙන්නය. සමහර විට සජිතුත් ඒ වලෙගෙම එල්ලෙනවා විනා වෙන කරන්න දෙයක් නම් නැති වෙයි.

කොහොම හරි දැන් අලුත් පාරක යමු කියා අනුරයියා අලුත් පාරක ජෙප්පො ටික ඇදගෙන යන්න පටන් ගත්තේ දැන් සති කිහිපයක ඉඳලාය. ඒක අලුත් දෙයක් නොවෙයි. අපි දන්න ජවිපේ ඉතිහාසය තුළම ජවිපෙ කළේ කාලෙන් කාලෙට අලුත් අලුත් පාරවල් හොය හොය යෑමය.

යන්නෙ කොහෙද අහුවොත් මල්ලෙ පොල් උත්තර දෙන ජවිපෙට ඇත්තටම යන්නෙ කොහෙද කියල කියන්න, යා යුත්තේ කොහෙටද කියා අදහසක් වත් තිබිය යුතුයි..එහෙම එකක් නෑනේ.. මාක්ස්වාදය, ලෙනින්වාදය, ස්ටැලින්වාදය, මාවෝවාදය, ට්‍රොස්කිවාදය කස්ත්‍රෝවාදය, කවලං මැල්ලුමක් කරගෙන ඒකට ජාතිවාදයද, ආගම්වාදය ද ත්‍රස්තවාදයද පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගෙන විජේවීරවාදය කියාද දෙයක් හදාගෙන ජවිපෙ නන්ත්නතාරේ ගිය කාලයක් තිබුණා..ඒ කාලයේ මොනවා නැතත් සමාජවාදය වෙනුවෙන් සමාජ විප්ලවේ නම් කොහොම හරි කරනවා කියා මතයක් තිබුණා.. ඒවා විනාශකාරී කැ‍රැලි ගැසීම් වලින් අවසන් වුණායින් පස්සෙ පාර්ලිමේන්තුවාදය කර පින්නා ගත්තා.. පස්සේ සමාජ විප්ලවය වෙනුවට නවීන සමාජවාදය කියා මොකක්දෝ නන්දෙඩුමක සිටි ජවිපෙ සමාජ ප්‍රජාන්ත්‍රවාදයක් ගැන කියවන්න ගත්තා..දැන් පරණ සමාජවාදය හරි නවීන සමාජවාද ගැන කතා නැත. සමාජ විප්ලවය කියන්නේ මොකක්ද කියා දන්නේවත් නැත. ඒත් දැන් දැන් වෙනකොට ලිබරල්වාදයට වඩා දෙයක් නොදොඩවන තැනට මේ කට්ටිය පත්ව තිබෙනවා..ඒකත් හොඳ දෙයක්. කොරන්න බැරි මගුල් කියවන් නැතුව කරන්න පුලුවන් කියලා හිතෙන දෙයක් ගැන කතා කිරීම හොඳ තත්වයකි.

ඒත් ඉතින් ඒවා කතා විතරය.. ලංකාවෙ ඩොලර් අර්බූදයට විසඳුම කුමක්ද කියා අසුවාම අපේ පිටරට ඉන්න සහොදරවරුන්ට කිව්වාම ඩොලර් 500 ගානේ එවනවා එතකෝට අර්බුදය ඉවරයි.. කියා අනුරයියා කිව්වා කියා කතාවක් බුකියේ යමින් තිබේ. ඒත් ඒක මේ ලියුම්කරුට විස්වාස කරන්න බැරි කතාවක් නම් නෙවෙයි.. මොකද ජවිපෙ රියල් වැඩ එහෙමය. ඒකෙ හොඳම කතාව තිස්සමහරාම ප්‍රාදේශීය සභාව හොඳම ප්‍රාදේශීය සභාව කරපු හැටියටය.

තිස්සමහරාමෙ කානු ටිකේ ඉඳලා සුද්ද බුද්ද කරන්න ලංකාව වටේම ඉන්න ජවිපෙ සාමාජිකයන් තිස්සමහරාමෙට කැඳවා මාස ගානක් දැඟලුව මතකයි. ලෝකේ පුරා ඉන්න ජවිපෙ සාමාජිකයන්ගෙ මුදල් ආධාර තිස්සමහරාමෙට ගෙන්වාගෙන ජනප්‍රිය ව්‍යාපෘති ගනනාවක් කළා මතකයි.. දැන් මේ අනුරයියාගේ කළයි කියන යෝජනාවත් මේ තිස්සමහරාම ගොඩනගපු පැරණි යෝජනාවමය. වෙනසක් නැත. මොක උනත් තිස්ස තාවකාලිකව හරි ලස්සනට තිබුණා..ලංකාවෙ හොඳම එක වුණා..අපි තමයි හොඳටම කළේ කියා ජවිපෙ ඒ කාලෙම කිව්වා.. එත් ඊළඟ ඡන්දෙන් ජවිපෙ ගෙදරය.

ඒවා සංදර්ශනය. මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න විසැඳුනේ නැත. අනාගතය ගැන මෙලෝ ඉඩිගෙඩියක් හිතුවේ නැත. ඒවා විසඳන්න ප්‍රතිපත්ති, වැඩ පිළිවෙලවල්, යාන්ත්‍රණ තිබ්බේ නැත. තිස්ස සුද්ද කරන්න පැමිණි ජෙප්පො ටික ආපහු උන්ගෙ ගම් රටවලට ගිය පසුව තිස්ස පාලුවට ගිහින් යළි වන වැදුනා.. ජවිපෙ ඒ කෙටි කාලයට දුන් ආදර්ශයෙන් පස්සෙ කවදාවත් මිනිස්සු ජවිපෙට බලය දුන්නේ නැත.

වෙලවකට හිතෙනවා ජවිපෙ දැන් අවුරුදු 65 කට වැඩි කලයක් තිස්සෙ රට හදන්න අපට දෙන්න.. කියමින් කෑ ගැහු කෑ ගැහිල්ල වෙනුවෙන් අනුකම්පාවට හරි රටේ බලය දීලා බලන්න. ඒත් ෂුවර් අවුරුද්දක් යන්න කලින් මිනිස්සු ගහලා පන්නවා.. රටේම ආර්ථිකය කාබාසීනීය කරලා දානවා. මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න වෙන්නේ..

මොකද රටේ අර්බුධ කිසිවකට ප්‍රායෝගික කල් පවතින විසඳුම් ජවිපෙට නෑ. ලස්සන සංදර්ශන නම් කරයි.. කට කයිවාරු කොච්චර කියෙව්වත් ජවිපෙ කියන්නේ අඩුම තරමින් මේ රට මොකක්ද? මේ රටේ මිනිස්සු කවුද? මිනිස්සුන්ට මොනවද ඕනේ ? කියන එකවත් තේරුම් ගත්තු පක්ෂයක් නෙවෙයි. එහෙම නොවුනානම් සියයට තුනට වැටෙන්නේ නැහැ.

ජවිපෙ ඉතිහාසයේ කරපු කියපු සියලූම දේ ආදාල නොකරගෙන අනාගතය ගැන අපේක්ෂාවක් තියලා කතා කළත් ජවිපෙට මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින ගැටලු වෙනුවෙන් ඇත්ත ප්‍රායෝගික විසඳුම් නැත. ජවිපෙ කතා කරමින් සිටි සමාජවාදි විසඳුම් කොහොමත් නැත. ජවිපෙ තවමත් සමාජවාදීයි කියා සාමාජික සාමාජිකාවන් වැඩිම දෙනෙක් සිතා සිටින නිසා සහ උන් ඉන්නෙත් ඒ හන්දා නිසාම ජවිපෙ මේ බොරුවට හරි තියන් ඉන්න සමාජවාදී හැව අයින් කරගන්නෙත් නැත. ඔවුන් මොක කරත් මේ සමාජවාදි හැව තුළ සිට ප්‍රශ්න බේරන්න යනවා. එතැනම වැඩේ ඉවරයි. ඒ වගේම ගෙඩි පිටින් ලිබරල් විසඳුම්වලට යෑමට ජවිපෙට රෙද්දක් ඇඳන් කරන්න බැරිය. ඩොලර් හිඟයට විදේශ ණයක් ගන්න, කවදාවත් හිතන්නෙ නැත. ඒ තබා දේශීය වශයෙන් ණය ගන්න බැඳුම්කර වගේ ඒවා නිකුත් කරන්නේ නැත. සල්ලි අච්චු ගහන්නේද නැත. ඒවා ගැන කියපු කතාවල හැටියට හිත්න්නවත් පුළුවන් දේවල් නොවෙයි. විදේශ ආයෝජකයන්ට රට පැත්ත පළාතේ එන්න දෙන්නේ නැත. පොර්ට් සිටි එකට මැනිං මාර්කට් එක ගෙන නාවොත් පුදුම වන්නට පුළුවන. ඉතිං ජවිපෙ ක්‍රමය කුමක් වෙයිදැයි කියන්න බැරිය.

ඒත් කරපු කියවපු දේවල් වල හැටියට පක්ෂ සාමාජිකයන්ගෙන් ඩොලර් 500 ගානේ ගෙන්වා ගන්නාවාට අමතරව වී වවා, වී රට පටවා, ඩොලර් හොයන ක්‍රමයක් වගේ ඒවා තමයි කරයි කියලා හිතන්න වෙන්නේ.. එහෙම කරන්න ජෙප්පන්ට මඩට බහින්න වෙනවා වගේම..අහක ඉන්න මිනිස්සුත් තුවක්කුව පෙන්නලා හරි බලෙන් මඩට ඇද දැමීම කරනවාමයි. එහෙම නැතුව බෑ.

ඒත් ඉතින් අපිට කියන්න වෙන්නේ අර ජවිපෙ සදාදරණීය ගුරුවරයකු වෙච්ච ලෙනින් සහෝදරයා කිව්ව කතා වය.

''..අපේ අත් පමණක් අත් හරින්න. අපේ ඇ‍ඟෙ එල්ලෙන්න එපා, නිදහස කියන උතුම් වචනය කිලිටි කරන්න එපා. මොකද අපටත් නිදහස තියෙනවා, අපි කැමති තැනකට යන්න. මඩ ගොහොරුවට එරෙහිව සටන් කිරීමට පමණක් නොවෙයි.. මඩ ගොහොරුව දෙසට හැරෙන අයටත් එරෙහිව සටන් කිරීමට අපට නිදහස තියෙනවා.." ( ලෙනින් තොරගත් කෘති කාණ්ඩ 1 පිට 127)

අනුරයියාගේ බුකී සාමාජික ප්‍රජාව කරන කියන දේවල් ආතල් එකට ගන්නවා හැර වෙන දෙයක් ඒවායේ ඇත්තටම නැති උනත් මොනවා හරි කොටන්නම හිතෙන විදියට උන් ආතල් දෙන එකට නම් රෙස්පෙක්ට්.

 

- දයානන්ද

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us