බේරේ වැවට කොළඹ නගරයේ මළ අපද්‍රව්‍ය සහ අප ජලය මහා පරිමාණයෙන් බැහැර කෙරේ. එමෙන්ම,පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කරන්නේද බේරේ වැවටය. වැවෙන් හමා එන අධික දුර්ගන්ධය හේතුවෙන් හෝටල් කිහිපයක්ද වසා ඇත.
එමෙන්ම,අධික දුගඳ තමන්ට සිය නිවාසවල පවා ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද නිවෙස් හිමියෝ කියා සිටිති.
බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, බේරේ වැව පිරිසුදු කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පිහිටුවන ලද කාර්ය සාධන බළකායේ සභාපති චතුර කහඳවආරච්චි කියා සිටියේ බේරේ වැව පිරිසුදු කිරීම සඳහා කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවය. කෙටි කාලීන වැඩපිළිවෙළ යටතේ බේරේ වැවට මල අපද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමට වැඩපිළිවෙළක් යොදා ඇති බවද හෙතෙම කීය. එමෙන්ම,වැවේ පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික බෝට්ටු යොදාගෙන ඇතැයිද ඔහු පැවසුවේය.
පොලිතින්, ප්ලාස්ටික්, ජපන් ජබර ආදිය මෙම බෝට්ටුවට ස්වංක්‍රීයව එකතු කෙරෙන බවත්, එක බෝට්ටුවකට වරකදී මෙම අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ එකතු කෙරෙන බවද සභාපතිවරයා කීවේය.
බේරේ වැවට ඇළවල් අටකින් ගලා එන මලාපවහන අපද්‍රව්‍ය සහ අපජලය කොළඹ මහ නගර සභාවේ අප ජල පොම්පාගාරයක් හරහා වැල්ලවත්තෙන් මුහුදට බැහැර කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසුවේය.
කොළඹ අප ජලය බැහැර කෙරෙන නළ පද්ධතිය වසර 100 ක් පමණ පැරණි බවත්,ඇතැම් ස්ථානවල තිබෙන පලුදු නිසා එම අපද්‍රව්‍ය බේරේ වැවට එකතු වන බවත් සභාපතිවරයා කීවේය. බේරේ වැව ආශ්‍රිතව කියුබික් මීටර් ලක්ෂයක මලාපවහන පිරිසුදු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබෙන බවත්, මේ වනවිට ඒ සඳහා ඉඩමක් වෙන්කරගෙන ඇති බවත්, එහි කටයුතු අවසන් කිරීමට වසර පහක පමණ කාලයක් ගතවනු ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය.