රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් නිර්මාණය කරන ලද්දක් බවත්, කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමෙන් මෙම නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම්, සංගමයක් වශයෙන් ඊට විරෝධය පාමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු ඇති බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23වැනිදා පැවැත්විණි.
එහිදී ඇමැති විජිත හේරත් ප්‍රකාශ කර ඇත්තේ, මුස්ලිම් ජාතික හෙදියන්ට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බවයි. කවුරුන් හෝ එය ඇඳීමට විරෝධය පළ කරන අවස්ථාවකදී ඒ පිළිබඳව තමන්ට තොරතුරු දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා එහිදී පවසා ඇත.
එහෙත් ඒ ඒ ආගම්වල පවතින සංස්කෘතික ලක්ෂණයන් අනුගමනය කරමින් පිළිගත් සම්ප්‍රදායන් අනුව සකස් කර ඇති නිල ඇඳුම වෙනස් කිරීමට එකඟ නොවෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සිය ලිපියෙන් අවධාරණය කර ඇත.
මේ තත්ත්වය මත, කවරකු හෝ හෙද සාත්තුවද වෙනස් කළ යුතු යැයි යෝජනාවක් ගෙන ආවොත් එයද කළ යුතුව ඇතැයි උන්වහන්සේ සඳහන් කර ඇත.
පිළිගත් සම්ප්‍රදායකට අනුව පවතින නිල ඇඳුම වෙනස් කරනවාට වඩා කාර්යක්ෂම හෙද සේවාවක් පවත්වාගෙන යාම සඳහා විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න ගණනාවක් හෙද ක්ෂේත්‍රය තුළ පවතින බවද ආනන්ද හිමි සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

