අනුරාධපුර භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ඉංජිනේරුවරුන් මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ එම ගිලා බැසීමට අවදානම් ඇති ස්ථාන හා කඩා වැටෙමින් පවතින චෛත්‍ය නිරීක්ෂණය කළේය.
හැකි විගස මෙයට ක්‍රියාමාර්ග නොගතහොත්, ධර්මශාලාව ගිලා බැසීමට අවදානමක් ඇති බවත්, එමෙන් ම මිහින්තලේ ගිරිභණ්ඩ සෑය මේවන විට මැදින් පුපුරා ඉන් කොටසක් මේ වන විට කඩා වැටී ඇති බැවින් හැකි ඉක්මනින් සංරක්ෂණය කර ගැනීමට නොහැකි වුවහොත්, පහළ ඇති බෑවුමට මෙම චෛත්‍යය කඩා වැටීමකට ලක්විය හැකි බව එම ඉංජිනේරුවෝ පැවැසූහ.
මිහින්තලේ ගිරිභණ්ඩ සෑය මිහින්තලා කඳු මුදුනට නඟන පියගැටපෙළේ වම් පසින් රාජගිරි ලෙන සහ කළුදිය පොකුණ ආසන්නයේ පිහිටා ඇත. මුල්ම යුගයේ ගොඩනැඟූ දාගැබක් ලෙස සැලකෙන මෙම දාගැබෙහි නිර්මාණ ලක්ෂණ හා ඒ අවටින් සොයාගෙන ඇති පුරාවස්තු අනුව මෙම සෑය පූර්ව අනුරාධපුර යුගයට (ක්‍රි. පූ. 2 වන සියවසට) පමණ අයත් යැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.
දාගැබ පිහිටි භූමියේ ගලින් නෙළූ ආසන, ගල් පුවරු, සලපතළ මළුව හා විහාරාරාමයකට අයත් විය හැකි ගොඩනැඟිලිවල නටබුන් කීපයක් ම දක්නට ලැබේ.
පුරාණයේ භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ භාවනානුයෝගීව වැඩසිටි බවට සාධක හා ලෙන් ලිපි සොයාගෙන ඇත. එමෙන්ම සෑය ආසන්නයේ සුවිශේෂී ගල් ආසන කිහිපයක් දක්නට ලැබෙන අතර ඒවා භික්ෂූන්ගේ ධර්ම දේශනා කිරීම සඳහා හෝ රජුන් ආසනාරූඪ වීම සඳහා භාවිත කරන්නට ඇතැයි සැලකේ.
ශ්‍රී ලංකාවේ මුල්කාලීන චෛත්‍ය සම්ප්රදාය සහ භික්ෂූන්ගේ වාසස්ථාන පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මෙම ස්ථානය ඉතා වැදගත් වන අතර මිහින්තලේ වන්දනා කරන දෙස් විදෙස් සංචාරකයන් මෙම සෑය සහ ඒ අවට ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීම සිදු කරයි.
මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝද මේ ගිලාබැසීමේ අවදානම ගැන කරුණු දක්වා තිබේ.
-දිනමිණ

