සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකතු විය යුතුයි යන මතයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සහ සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා වන සාකච්ඡාවල වගකීම ගෙන තිබෙනවා.
ඒ සාකච්ඡා ඉදිරියට ගමන් කරනවා. ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙනවා. සුදුසු වේලාවේදී පක්ෂ දෙක එකතු වීම සිදු වෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතු වෙලා සන්ධානයක් ලෙස කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම නායකත්වයට වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිණතභාවයටත් වටිනාකමක් දිය යුතුයි. කෙසේ නමුත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ගැනීමට හැකි වෙනවා. මේ වසර තීරණාත්මත වසරක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලාගැනීමට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න නීතියෙන් බාධාවක් තිබෙනවා නම්, ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදෙන්න සමගි ජන බලවේගය සූදානම්. වංචා, දූෂණ පනත ගෙන ඒමට කටයුතු කළෙත් යහපාලන රජය. ඒ වගේම රටේ වංචනිකයන් දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමේදී ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගවලට සමගි ජන බලවේගය රජයට උපරිම සහාය ලබාදෙනවා. ඒ වගේම දූෂණ, වංචා චෝදනා සඳහා විශේෂ අධිකරණයක් ආණ්ඩුව පිහිටුවිය යුතුයි.

