රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී සිග්සැග් ක්‍රමයට, එකක් හැර එකක් වීදි ලාම්පු නිවා දැමීම සම්බන්ධව සාකච්ඡා කර තීරණ ගතයුතු බවද ඔහු පැවැසීය.
පළාත් පාලන ආයතන යටතේ තිබෙන වීදි ලාම්පු පස්වරු 6ත් 10ත් අතර කාලය තුළදී නිවා දැමීම මගින් අදහස් වන්නේ සම්පූර්ණ වීදි ලාම්පු නිවා දැමීම නොව අදාළ පළාත් පාලන ආයතන විසින් අදාළ වේලාවට අදාළව වැඩසටහන් සකස් කර ගැනීම සඳහා බවද ඔහු කීවේය.
හදිසි අනතුරු සිදුවිය හැකි ස්ථාන, යම් අපරාධ සිදුවිය හැකි ස්ථාන, දිට්වා ආපදා තත්ත්වය නිසා මාර්ග අලුත්වැඩියා කරන ස්ථාන සම්බන්ධව අවධානය යොමුකර, පොලිසිය සමග සාකච්ඡා කර එම කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතන වලට දැනුම්දී ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.
සියලුම රජයේ ආයතන, අමාත්‍යාංශ යටතේ තිබෙන ව්‍යවස්ථාපිත ආයතන සඳහා පස්වරු 3 ට වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීමට අදාළව ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අදාළව නිකුත් කරන ලද මාර්ගෝපදේශ මගින් යෝජනා කර තිබෙන බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධව පුද්ගලික අංශයට නියෝගයක් නිකුත් කිරීමට නොහැකි වූවද, අදාළ මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස පුද්ගලික අංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු කීවේය.
අධිකරණ පද්ධතියටද මීට අදාළව මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීමට අදාළව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු පැවැසුවේය.

