මැදපෙරදිග යුදමය තත්ත්වය, කාලගුණික විපර්යාස (එල්නිනෝ) යන හේතු මුල් කරගෙන ලබන සැප්තැම්බර් 30 දක්වා ඉන්දියාව සීනි අපනයනය තාවකාලිකව තහනම් කර ඇත.
මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා මසකට දළ වශයෙන් සීනි මෙට්‍රික් ටොන් 60,000 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර පැලවත්ත සහ සෙවනගල හරහා (දුඹුරු සීනි) නිපදවා ගනු ලබන්නේ සියයට 10 ක පමණ ප්‍රමාණයක් යැයි ද සීනි තොග වෙළෙන්දෝ පවසති.
මෙරටට ආනයනය කරන සීනිවලින් සියයට 63.78 ක් පමණ ඉන්දියාවෙන් ගෙන්වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සියයට 17.31 ක් බ්‍රසීලයෙන් සියයට 6.49 ක් පෝලන්තයෙන් සියයට 6.25 සහ ජර්මනියෙන් සියයට 6.17 ක පමණ ප්‍රමාණයක් ආනයනය කරන බව ද ඔවුහු කියා සිටිති.
ඉන්දියාව විසින් සීනි අපනයනය කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණයත් සමග ඇතිවිය හැකි තත්ත්වය කෙබඳුදැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්නගෙන් ‘අරුණ’ කළ විමසීමේදී ඔහු කියා සිටියේ විකල්ප වෙළෙඳ පොළවල් හරහා සීනි ගෙන්වන බවයි.
ඉන්දියාව පිරිපහදු කළ සීනි අපනයනය තහනම් කර නැතැයිද ඒ අනුව එම සීනිවල මිල ඉහළ මට්ටමක තිබුණත් ඒවා ගෙන ඒමේ ගැටලුවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සීනි මෙට්‍රික් ටොන් 80,000 ක් පමණ තිබෙන බවද ඔහු සඳහන් කළේය. දැනට මෙරටට අවශ්‍ය සීනි තොග තිබෙන බවත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පිරිහීමත්, අනෙකුත් වියදම්වල ඉහළ යාමත් නිසා ආනයනය කරන සීනිවල මිල ඉහළ යාම අනිවාර්යයෙන් සිදුවන්නක් බවද ඔහු සඳහන් කළේය.

