ඇතැම් බස් කොන්දොස්තරවරුන් සහ රියැදුරන් ද මේ ආකාරයෙන් බුලත් කෙළ ගැසීම හා බුලත් කෙළ ප්ලාස්ටික් බෝතල්වලට ගසා බස් නැවතුම්පළේ තැනින් තැන විසිකර දමා තිබූ බවද අනාවරණය වී ඇත.
ගුවන් හමුදාව විසින් පැය 24 ම නිරීක්ෂණය කරන ආරක්ෂක කැමරා දර්ශන මගින් මෙම පුද්ගලයන් හඳුනාගෙන පොලිසියේ හා ගුවන් හමුදා නිලධාරින්ගේ මැදිහත්වීම මත ඔවුන් හසුකරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් නලින් වැවකුඹුර පැවැසීය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ මාස හයකට වැඩි කාලයක් වසා තබා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් පුළුල්ව නවීකරණයට ලක්කර ජනතා අයිතියට පත්කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 08 වැනිදාය.
ගුවන් හමුදාවේ බලගණ නිලධාරි ඉන්දික වික්‍රමසිංහගේ අධික්ෂණයෙන් යුත් ගුවන් හමුදා නිලධාරින් 25 දෙනකු විසින් මෙහි ආරක්ෂක කටයුතු පැය 24ම ආවරණය වන පරිදි නිරික්ෂණය කරන අතර ඒ සඳහා ආරක්ෂිත කැමරා 64 ක නිරීක්ෂණ 88ක් සම්බන්ධ කර ඇත.
මේ අනුව ආරක්ෂිත කැමරා මගින් ගෙවුණු මාස හතක කාලය තුළ සිදුවීම් 1286 ක් අනාවරණය කරගෙන ඇත. එම දර්ශනවලට අනුව මගින්ගේ ගමන් බෑග් මුදල් ආදිය සොරකම් කිරීම, නීති විරෝධී ක්‍රියා හා බස් නැවතුම්පළේ දේපළවලට හානි කිරිම්වලට සම්බන්ධ පුද්ගලයන් 64 දෙනකු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත බාරදී ඇත.
මෙම කාලය තුළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය මගින් බස් නැවතුම්පළට පැමිණි යාචකයන් 55ක්, ගණිකාවන් 03 දෙනෙක් සහ ජංගම වෙළෙඳුන් 13 දෙනකු ඉවත් කර ඇති බවද ගුවන් හමුදාව සඳහන් කර සිටියි.
මේ වනවිට පොලිසිය හා ගුවන් හමුදාව මෙන්ම ලංගම ආරක්ෂක අංශ නිලධාරින් එවැනි පුද්ගලයන් වෙත බස් නැවතුම්පොළ වෙත නිකරුනේ ඇතුළු වීමට හෝ මගීන්ට හිරිහැර කිරීමට ඉඩකඩ නොදෙන බව ද ආරක්ෂක අංශ කියා සිටියි.
එසේම ආරක්ෂක කැමරා මගින් ලංගම බස් රියැදුරන් විසින් බස්නැවතුම්පලේ දේපළ හප්පා අලාභ හානි කිරීම්වල දර්ශන 28 ක්ද ලංගම ප්‍රධානින් වෙත යොමු කර ඇති අතර ලංගම පාලනාධිකාරිය විසින් රියැදුරන්ගෙන් එම අලාභ පූර්ණ කරගෙන ඇත.
බස්නැවතුම්පළේ ජල කරාම, කොමඩ් ඇතුළු පොදු දේපළ විනාශ කිරීමේ සිදුවීම් 48 ක්ද ආරක්ෂිත කැමරා දර්ශන මගින් හෙළිකර ගෙන ඇත. එසේම නවීකරණය කළ බස් නැවතුම්පළේ රියැදුරු කොන්දොස්තර විවේකාගාරයේ කාමර 15 ක 120 කට නවාතැන් පහසුකම් සලසා දී ඇත. ඒ අසල කසළ බඳුනකට නිරන්තරයෙන් මූත්‍රා කළ බෝතලයක් දමා යාමේ සිදුවීම මත ආරක්ෂිත කැමරා පැය අටක කාලයක් ආපස්සට නිරීක්ෂණය කර මූත්‍රා කර බෝතලය කසළ බඳුනට දැමූ අවිස්සාවේල්ල ඩිපෝවේ බස් රියැදුරකු අල්ලාගැනීමට හැකිවූ බවද ගුවන් හමුදාව කියා සිිටියි. මෙම කාලය තුළ බස් නැවතුම්පලට පැමිණ රෝගී වූ පුද්ගලයන් 64 දෙනකු සුවසැරිය ගිලන් රථ යොදවා කඩිනමින් රෝහල්ගත කිරීමට හැකිවී තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න සඳහන් කළේ මේ වනවිට බස් නැවතුම්පළේ සිදුවන සොරකම්, නීති විරෝධී ක්‍රියා දැඩිව පාලනය වී ඇති බවය. ගුවන් හමුදාව, පොලිසිය හා ආරක්ෂක අංශවල ක්ෂණික අධීක්ෂණය හා මැදීහත්විම් ඊට හේතු වී ඇති බවත් ඔහු කීය.

