70 වියෙහි පසුවන දලුකාන ආදිවාසී නායක හන්ද්‍රගේ අමරසිංහ ඇත්තෝ පස්දරු පියකු වන අතර ඔහුට බාල සහෝදරයින් 10ක් සහ සහෝදරයින් දෙදෙනකු ජීවතුන් අතර සිටිති. අමරසිංහ ඇත්තන් මීට මාස කිහිපයකට ඉහත දී ශාන්තිකර්මයක් කිරීමට ගොස් නිවස බලා එමින් සිටිය දී වැටී තුවාල ලැබිමත් සමග මේ දක්වාම කතාකිරීමට නොහැකිව සිටියේය.
“අමරසිංහ ඇත්තෝ මේ වන විට ඇවිද යන්නේ හැරමිටියක වාරුවෙනි. ඇතැම් අවස්ථාවල දී ඇවිදීමට අත්වැලක් වෙන්නේ ඔහුගේ බාල සොයුරු ඒ. නිහාල් රංජිත් යන අය විසිනි.
අයියලා ඇත්තන්ට සිහිපොජ්ජ කොදොයි. සිරිපෝරු, තඹපෝරු කොදොයි. කිරි කොරහා නටලා අයියලා පොජ්ජගේ ලෙඩේ හොඳ කරන්න සල්ලි රුපියල් 5000ක් අප්පිලා ඇත්තන්ට ඕනේ. සල්ලි පොජ්ජ කොදොයි. ආදිවාසී වරිගයාට අසාධාරණ වෙලා. මේවා ගැන මහහූරාට කරුකුරු ගච්චලා මේ ඇත්තන්ට පිහිටක් වෙන්න.” හන්ද්‍රගේ අමරසිංහ ඇත්තන්ගේ සොයුරු 68 වියැති එච්. සුදුබණ්ඩා මහතා එලෙස කීය.
“අපේ අයියට සිහිය නැහැ. කිරිකොරහා ශාන්තිකර්මයක් කරගන්න සල්ලිත් නැහැ. ඒකට රුපියල් 5000ක් අපට ඕනෑ කරලා තිබෙනවා. අපේ අයට ගොඩක් අසාධාරණ වෙනවා. මේ ගැන පත්තරේට ලියලා ජනාධිපතිව දැනුවත් කරලා අයියාගේ ලෙඩ සුව කරගන්න පිහිට වෙන්න.” ඒ සුදු බණ්ඩා කී කතාවයි.
“මගේ අයියත් එක්ක දඹානේ වරිග සභාවට ගියාම තීරණය වුණේ අයියාගෙන් පස්සේ ආදිවාසී නායකකම මට උරුම වෙනවා කියලා.
නමුත් අද දලුකානේ ආදිවාසී නොවන අයකු නායකයා කියලා බොරුවට රඟපානවා. මේකෙන් ගම්මාන 08ක ආදිවාසී ජනතාවට අසාධාරණයක් වෙලා. අද අපිට ඉහළින් මොකුත් දැනුම්දීමක් නොමැතිව වැඩකටයුතු සිදු වෙනවා. අපි නමින් සමහර අය ආධාර, උපකාර ලබාගන්නවා. මේකෙන් ගම්මාන 08ක ආදිවාසී පවුල් 2500ක් අසරණ වෙලා. අද අයියට කතාකරගන්න බැහැ. හරියට ඇවිදගන්න බැහැ. මේකෙන් ප්‍රයෝජන ගන්නේ ආදිවාසී නොවන අයයි.” එම්. සුදුබණ්ඩා ඇත්තෝ වැඩිදුරටත් එලෙස කීය.
ප්‍රසාත් සමන් - මනම්පිටිය
rivira

දිඹුලාගල දලුකාන ආදිවාසී නායක හන්ද්‍රගේ අමරසිංහ ඇත්තෝ රෝගාතුර වීමත් සමග එම නායකත්වය ප්‍රදේශයේ වෙනත් අයකු විසින් බලහත්කාරයෙන් පවරාගෙන ක්‍රියා කිරීමෙන් තම ආදිවාසී ජනතාවට මහත් අසාධාරණයක් වී ඇති බව ඥාතීහු පවසති.